1953 හර්තාලයට පසු ලංකාව තුළ දියත් වූ විචිත්‍රවත්ම ජන අරගලය මේ වන විට දිග හැරෙමින් පවතී. මෙම අරගලයේ ශක්තිමත් බව ඉදිරියේ අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවිය. ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ පාර්ලිමේන්තුව තුළ “ස්වාධීනව” කටයුතු කරන බව කියා සිටියෝය. මහ බැංකු අධිපති ධුරය දැරූ කබ්රාල් ඉල්ලා අස් විය.
අරගලය කොතරම් බලගතු ලෙස පෙරට පැමිණියේද යත්, මුලින් මෙම අරගලයේ නායකත්වය කවුද? වගකීම භාර ගන්නේ කවුද යනුවෙන් ප්‍රශ්න කරමින් අරගලය දියාරු කිරීමට ප්‍රබල ප්රචාරක ව්‍යාපාරයක් ගෙනගිය අනාගත ජනාධිපති සිහින මවමින් සිටි කොටස්වලට පවා පසුව එයට එකතු වීමටත්, අරගලය නොනවත්වන ලෙස අරගල කරුවන්ගෙන් ඉල්ලා සිටීමටත් සිදුවිය.
අරගලයේ අවසානය කුමක් වුවත් ලංකාවේ සමාජ දේශපාලන පර්යාය බලගතු ලෙසින් වෙනස් කිරීමට මේ වන විටත් මෙම අරගලය සමත් වී ඇත. පසුගිය දශක ගණනාවක් පුරා බොහොමයක් පාලකයින් බලයට ඒමටත් බලය පවත්වා ගැනීමටත් භාවිතා කළ ජාතිවාදය හා ආගම්වාදය අරගලය තුළ මුළුමණින්ම ප්‍රතික්ශේප විය. විශේෂයෙන් රාජපක්ෂවරුන් විසින් කිරි පොවා හදාවඩා ගත් “සිංහළ බෞද්ධ” ව්‍යාජයක් පතුරවමින් සිටි අවස්ථාවාදී, ජාතිවාදී තක්කඩියන්ගේ නිරුවත හෙළිදරව් විය. අනෙක් අතට දේශපාලන පක්ෂවල මෙහෙයවීමකින් තොරව ජනතාවට තම ඉල්ලීම් වෙනුවෙන් හඬ නැඟිය හැකි බවත්, ජන බලයට ඕනෑම ප්‍රබල පාලනයක් දණ ගැස්විය හැකි බවත් අරගලය විසින් පෙන්වා දෙනු ලැබිණි.
මෙතරම් විචිත්‍ර හා ප්‍රබල අරගලයක් දිග හැරෙමින් තිබියදී ලංකාවේ වෘත්තීය සමිති නායකයන්ට මහා වැඩ වර්ජනයක් කැදවීමට නොහැකිවීම ඛේදජනකය. ආණ්ඩුවට දැනෙන බලපෑමක් කළ හැක්කේත් ආණ්ඩුව බිඳ දැමිය හැක්කේත් මහා වැඩ වර්ජනයක් මඟිනි. ජනතාව ගෙනයන විරෝධතා ඵලදායී අවසානයක් කරා ගෙන ආ හැක්කේ එමඟිනි. එහෙත් මෙම අරගලය ආරම්භ වී දින 10ක් ගතව තිබියදීත් මහා වැඩ වර්ජනයක් නොව අවම වශයෙන් සංකේත වර්ජනයක් හෝ නොකැඳවීම විසින් පෙන්වාලන්නේ මේ වනවිට වෘත්තීය සමිති නායකත්වය පත්ව ඇති පසුගාමී හා බෙලහීන තත්ත්වයයි.
මෙය 1953 සිදුවූ තත්ත්වයේ ප්රතිවිරුද්ධයයි. එදා එම අරගලය ආරම්භ වූයේම වැඩ වර්ජන මාලාවකිනි. එවක පැවති ලංකා කම්කරු සම්මේලනය හර්තාලය තුළ දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරනු ලැබීය. එවන් සටන්කාමී වෘත්තීය සමිති ඉතිහාසයකට උරුමකම් කියුවද අද වනවිට වෘත්තීය සමිති නායකයින් දක්වන නිද්‍රාශීලීත්වය අතිශයින් ශෝකජනකය.
එහෙත් කම්කරුවන් අති බහුතරය අද පවතින අරගලයට තම උපරිම සහාය පළ කරයි. තරුණ කම්කරුවන් දස දහස් ගණන් මෙම විරෝධතා වලට ඇදී ඒමෙන් පෙන්නුම් කරන්නේ එයයි. එහෙත් කම්කරු පන්තිය මත ලැග සිටින නායකත්වය විසින් පන්ති ව්‍යාපාරයක් ලෙස එය සටන් බිමට පැමිණීම වළකා ඇත. අරගලයට එහි නියම ජවය හා හැඩය ලබාදිය හැක්කේ කම්කරු පන්ති ව්‍යාපාරයටයි. වෘත්තීය සමිති නායකයන් මේ බව හොඳින් දනී. ඔවුන් එම ජවය මුදා හැරීමට බියවී ඇත්තේ එසේ මුදා හැරීම තුළ ඇතිවන ප්‍රතිඵලය ඔවුන් හොඳින්ම දන්නා නිසාය. ඇතැම් වත්තීය සමිති මීළඟ ජනාධිපති සිහිනය වපුරන දේශපාලන කණ්ඩායම්වල න්‍යාය පත්‍ර කර පින්නාගෙන සිටින බැවින් කම්කරුවන් අරගලයට කැඳවීමට බිය වී ඇත. ඒ අරගලයට එන කම්කරුවන් එම වෘත්තීය සමිති නායකයන්ට වුවමනා තැනට දක්කාගෙන යාමට නොහැකි බවත් ඒ වෙනුවට ඔවුන් මෙම ක්‍රමය වෙනස් කිරීම දක්වා ගමන් කරන බවත් ඔවුන් දන්නා නිසාය.
මේ වනවිට ආණ්ඩුව විසින් කුලියට ගත් පිරිස් යොදා ගනිමින් ආණ්ඩුවට පක්ෂ බව පෙන්වන පෙළපාලි සංවිධානය කිරීම ආරම්භ කර ඇත. මේවාට සම්බන්ධ වන්නේ ඉතාමත්ම සුළු පිරිසක් වුවත් මෙවන් ක්‍රියාකාරකම් හරහා ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරමින් හමුදා බලය යොදවා අරගලය මර්ධනය කිරීමේ පසුබිමක් නිර්මාණය කිරීම මේවායේ අරමුණ බව පැහැදිලිය. රාජපක්ෂලාගේ ඉදිරිපෙළ සට්ටැබියෙක් වන තිස්ස කුට්ටිආරච්චි විසින් විරෝධතාකරුවන්ට පොලු පූජා පැවැත්වීමට කාලය පැමිණ ඇති බවට කළ සාපරාධී ප්‍රකාශයද අප සැළකිය යුතු වන්නේ මෙම සන්දර්භය තුළය. අරගලය තලා දැමීම අරමුණු කොට මතුවන මෙවැනි ක්‍රියාකාරකම්වලට දිය හැකි හොඳම පිළිතුර වන්නේද මහා වැඩ වර්ජනයක් කැඳවීමයි. ඕනෑම ආකාරයක ප්රතිගාමීත්වයකට මුහුණ දිය හැකි හොඳම ක්‍රමය වන්නේ කම්කරු පන්තිය බලමුළු ගැන්වීමයි. ඒ අර්ථයෙන් ගත්තද මහා වැඩ වර්ජනයක් කැඳවීම මේ මොහොතේ කළ යුතු අනිවාර්ය කාර්යයකි.
සටන් බිමට පැමිණීම වළකන නායකයන් නොතකමින් වැඩවර්ජන තීන්දු ගනිමින් මෙම විරෝධයට එක් වීමට පන්ති ව්‍යාපාරය පියවර ගත යුතුය. එසේ තීන්දු ගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට පවතින බව නිසැකය.